රෝම 3:9-23

රෝම 3:9-23 SNRV

හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු. ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත; හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත. හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත. ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය. ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.” ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය. ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය. එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය. සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති.

මෙයට අදාළ වීඩියෝ