ගීතාවලිය 94:12-22
ගීතාවලිය 94:12-22 SNRV
සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය. ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය. සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක. අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය. දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි. “මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය. මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය. ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය. එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.


