ගීතාවලිය 94:12-22

ගීතාවලිය 94:12-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෝ ස්වාමින්වහන්ස, ඔබ විසින් හික්මවන ලද මනුෂ්‍යයා ඔබගේ ව්‍යවස්ථාවෙන් ඔබ ඉගැන් වූ මනුෂ්‍යයා භාග්‍යවත් ය. දුර්ජනයිනට වළක් හාරන තෙක්, පෙර කී මිනිසාට ඔහුගේ විපත් දවස්හි ඔබ සහනය සලසා දෙන සේක. මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ඉවත දමන්නේ නැත; උන්වහන්සේ ස්වකීය උරුමය වූ ජනයා කිසි කල අත්හරින්නේ නැත. විනිශ්චය යළිත් ධර්මිෂ්ඨකම මත පිහිටුවනු ලැබේ, ඍජු හදවතින් හෙබි සියල්ලෝ එය අනුගමන කරති. දුර්ජනයින්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද? දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව මා උදෙසා නැගී සිටින්නේ කවුරු ද? ස්වාමින්වහන්සේ පිහිට නො වූ සේක් නම්, මරණ නිසංසලයේ වාසයට යෑමට මට සිදු විය හැකි ව තිබිණි. “මගේ පාද ලිස්සා යනවා” යි මා පැවසූ කල, මා අල්ලා උසුලා ගත්තේ, ඔබගේ නොමියෙන ප්‍රේමයයි, අහෝ ස්වාමින්වහන්ස. අවුල් තැවුල් මහදේ බොහෝ වූ කල, ඔබගෙන් ලද අස්වැසිල්ල මහද ප්‍රමෝද කරවී ය. අයුතු අසාධාරණ නියෝග උපදවන්නා වූ දූෂිත විනිසුරුවන් සමඟ ඔබට සන්ධානගත විය හැකි ද? ඔවුහු දමිටුවනට එරෙහිව එක් රොක් වී, නිදොස් ලේ මරණ දණ්ඩනයට තීන්දු කරති. එහෙත් ස්වාමින්වහන්සේ මගේ බළකොටුව ද මා රැකවරණ ලබනා මගේ පර්වතය වන දෙවියන්වහන්සේ ද වූ සේක

ගීතාවලිය 94:12-22 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස, ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක. මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය. නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද? ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය. මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල, ස්වාමිනි, ඔබගේ කරුණාව මා ඉසිලීය. මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි. පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද? ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් ලෙය වරදට පත්කරති. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක; මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.

ගීතාවලිය 94:12-22 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය. ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය. සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක. අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය. දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි. “මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය. මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය. ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය. එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.

ගීතාවලිය 94:12-22 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය. ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය. සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක. අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය. දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි. “මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය. මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක. යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය. ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය. එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.