ගීතාවලිය 39
39
කෙටි ජීවිතය ගැන භාවනාව
දාවිත්ගේ ගීතයකි.
1මම මෙසේ පැවසීමි:
“වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි;
දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”
2මම වචනයක් වත් නොකීමි;
හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි.
එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;
3මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය;
සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි.
තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:
4“සමිඳාණන් වහන්ස, මාගේ අවසානය කවදා එයි ද?
මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද?
මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”
5අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි!
ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද?
දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.
6හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය;
ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය.
ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
7සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
8මාගේ සියලු පවින් මා මිදුව මැනව.
අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.
9ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි;
කට පියාගෙන සිටියෙමි.
10ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව.
ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.
11ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක;
කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක.
මිනිසා නම්, සුළං රොදක් පමණ ය.
12සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව;
මාගේ මොරගෑමට සවන් දුන මැනව;
මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව.
මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.
13මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 39: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න