ගීතාවලිය 38:1-11

ගීතාවලිය 38:1-11 SNRV

සමිඳාණන් වහන්ස, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව. ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත. ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත. මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත. මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත. වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි. උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත. මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි. සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක; මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ. මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි. අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.