ගීතාවලිය 33:1-11

ගීතාවලිය 33:1-11 SNRV

දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි. වීණාව වයා හිමිතුමාණන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමාණන්ට පැසසුම් ගීත ගයන්න. එතුමාණන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න. සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. දැහැමි බව හා යුක්තිය එතුමාණන්ට ප්‍රිය ය. මහ පොළොව හිමිතුමාණන්ගේ කරුණාවෙන් පිරී ඇත. හිමිතුමාණන්ගේ වචනයෙන් ආකාශය ද එතුමාණන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ. එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක. මුළු මහ පොළොව හිමිතුමාණන්ට බිය වේවා. සියලු ලෝ වැසියෝත් එතුමාණන්ට බියෙන් සිටිත් වා! මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක. හිමිතුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක. එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමාණන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.