ගීතාවලිය 135:4-13

ගීතාවලිය 135:4-13 SNRV

සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක. සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි. සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක. එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක; එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක. එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක. එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක. අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක. ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක. සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.