ගීතාවලිය 118:14-24

ගීතාවලිය 118:14-24 SNRV

සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය. ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක. එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක. දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය. මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.