හිතෝපදේශ 13

13
1පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි;
උඩඟු මිනිසා තරවටුව නොසලකයි.
2සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති;
කපටියෝ අපරාධය ම සොයා යති.
3දිව රැකගන්නා දිවි රැකගනියි;
දොඩමළුවා විනාශයට පැමිණෙයි.
4අලස අය ආසා වුවත් කිසිත් නොලබති;
ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
5දැහැමියා මුසාවාද පිළිකුල් කරයි;
දුදන බස තුච්ඡ ය, වංචනික ය.
6දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි;
අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි.
7පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය;
දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය.
8ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි;
දිළිඳාට එවැනි තර්ජනයක් නැත.
9දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි;
එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.
10උඩඟුකම වාද විවාද ඇති කරයි;
ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
11නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි;
වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.
12පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි;
පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.
13ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි;
ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.
14පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි;
එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.
15හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි;
ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි.
16බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි;
අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.
17අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි;
එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.
18අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත;
උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.
19මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය.
නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.
20නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත;
අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.
21විපත පවිටුන් ලුහුබැඳ එයි;
සැපත දමිටුන්ගේ විපාකය වෙයි.
22සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි:
දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.
23වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය,
එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත.
24වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි;
වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.
25දමිටු අයට කෑම හිඟයක් නැත;
අදමිටු අයට කවදත් කුසගිනි ඇත.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 13: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න