ගණන් කථාව 7

7
ප්‍රජා මූලිකයන්ගේ පඬුරු
1මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය. 2එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ 3සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ. 4එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 5“සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක. 6එවිට මෝසෙස් ගැල් හා ගොනුන් භාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේ ය. 7ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද 8පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි. 9එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.
10පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ. 11එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක.
12පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය. 13ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 14සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද 15දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 16පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 17සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය.
18දෙ වන දවසේ දී ශූවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 19ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 20සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 21දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 22පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 23සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය.
24තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 25ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 26සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 27දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද 28පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 29සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.
30සතර වන දවසේ දී ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් වන රූබන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 31ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 32සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක් රන් පාත්‍රයක් ද, 33දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 34පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 35සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂෙදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.
36පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 37ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 38සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 39දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 40පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 41සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක් ද, බැටළු වස්සන් පස්දෙනෙක් ද, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුරු මේවා විය.
42හය වන දවසේ දී දෙවුයෙල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 43ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 44සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 45දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 46පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 47සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. දෙවුයෙල්ගේ පුත් එලියාසාප්ගේ පඬුරු මේවා විය.
48සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 49ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 50සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 51දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 52පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 53සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය.
54අට වන දවසේ දී පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වන මනස්සේගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 55ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර හොඳ පිටිවලින් පිරී තිබිණි. 56සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 57දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 58පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 59සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. පෙදාශූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුරු මේවා විය.
60නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 61ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 62සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 63දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 64පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 65සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය.
66දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 67ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 68සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 69දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 70පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 71සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිෂද්දයිගේ පුත් අහියේසර්ගේ පඬුරු මේවා විය.
72එකොළොස් වන දවසේ දී ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වන ආෂෙර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 73ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 74සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 75දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 76පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 77සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුරු මේවා විය.
78දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය. 79ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. 80සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද, 81දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද, 82පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද, 83සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුරු මේවා විය.
84පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි. 85එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් එකහමාරක් ද, එක රිදී තැටියක බර ග්‍රෑම් අටසියයක් ද වූයෙන් රිදී භාණ්ඩ සියල්ලේ බර කිලෝග්‍රෑම් විසිහතයි දශම හයක් විය. 86තවද, ශුද්ධස්ථානයේ මිල අනුව, එක එකේ බර ග්‍රෑම් එකසිය දහයක් වූ රන් පාත්‍ර දොළසකි. මේ සියල්ලේ බර රිදී කාසි කිලෝග්‍රෑම් එකයි දශම තුනයි දෙකක් විය. 87දවන යාග පූජාව සඳහා වස්සෝ දොළසකි, බැටළු වස්සෝ දොළසකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දොළසකි. මේවා සමඟ ධාන්‍ය පූජා ද පාප පූජා සඳහා එළුවෝ දොළසක් ද වූ හ. 88සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය. 89මෝසෙස් සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සැම විට ම, එහි ගිවිසුම් කරඬුව මත කෙරුබ්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසනයෙන් නික්මුණු කට හඬක් ඔහුට ඇසිණි. ඔහු උන් වහන්සේ සමඟ කතා කෙළේ ය.

දැනට තෝරාගෙන ඇත:

ගණන් කථාව 7: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න