ගණන් කථාව 22:21-34

ගණන් කථාව 22:21-34 SNRV

බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය. අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙපැත්තේ තාප්ප ඇති, මිදි වතු මැදින් වූ පටු පාරක් හරහා සිටගත්තේ ය. කොටළුවා, සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, ඌ තාප්පය දෙසට වැරෙන් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පයේ හැපී තුවාළ විය. එවිට ඔහු තවත් වරක් ඌට තැළී ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ හැරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේ ය. මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය. එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය. බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය. එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්‍රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි. එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි. සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි. කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය. එවිට බාලාම් සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “මම පව් කෙළෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව මම නොදැන සිටියෙමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම්, මම හැරී ආපසු යන්නෙමි”යි කීවේ ය.

ගණන් කථාව 22:21-34 සඳහා වීඩියෝව

ගණන් කථාව 22:21-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය