ගණන් කථාව 21:10-20

ගණන් කථාව 21:10-20 SNRV

ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින් නික්ම ඔව්හු පෙරදිග වූ මෝවබ් ප්‍රදේශයට ඉදිරියෙන් පිහිටි පාළුකරයේ ඉයේ-අබාරීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ. එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය. එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත, ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.” එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය. එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න. කුමරුන් කැණි ළිඳ මේ ය, නායකයන් හෑරූ ළිඳ මේ ය, ජයකොන්තයෙන් කැණි ළිඳ මේ ය, සැරයටියෙන් හෑරූ ළිඳ මේ ය.” ඔව්හු පාළුකරයෙන් නික්ම මත්තානයට ද එතැනින් නහලීයෙලට ද එතැනින් බාමොත්ට ද එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.

ගණන් කථාව 21:10-20 සඳහා වීඩියෝව