ගණන් කථාව 20:22-29

ගණන් කථාව 20:22-29 SNRV

මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, “නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත. ආරොන් සහ ඔහු පුත් එලෙයාසර් කැඳවාගෙන හෝර් කන්දට නඟින්න. ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. මුළු ජනතාව බලාගෙන සිටිය දී ඔව්හු හෝර් කන්දට නැංගාහ. ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ. මුළු ජනතාව ආරොන් මියගිය බව දැනගත් විට, ඉශ්රායෙල් වංශයේ සියල්ලෝ ම දින තිහක් ආරොන් උදෙසා වැලපුණාහ.