නාහුම් 2

2
නිනිවයේ වැටීම
1නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න. 2සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක. 3ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති. 4රථ වීථිවල වේගයෙන් යයි; පළල් මාර්ගවල එහා මෙහා දුවයි; පන්දම් මෙන් දිළිසෙයි; විදුලිය මෙන් ඔබමොබ යයි. 5නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති. 6ගංගාවල දිය සොරොව් බිඳී ගො‍ස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි. 7රැජින අල්ලාගෙන වහල්කමට ගෙනයනු ලැබේ. ඇගේ සේවිකාවෝ මහා දුකින් පපුවට ගසාගනිමින් පරෙවියන් මෙන් සුසුම්ලති. 8කැඩී ගිය අමුණකින් වතුර ගලා යන්නාක් මෙන් නිනිවයේ සෙනඟ පලා යති. “නවතින්න, නවතින්න” කියා කෑගසන නමුත්, කිසිවෙකු වත් ආපසු හැරෙන්නේ නැත. 9රිදී කොල්ලකාගන්න, රත්රන් කොල්ලකාගන්න, නිමක් නැති වස්තු ද අනර්ඝ සියලු ආකාර බඩු රාශියක් ද එහි ඇත; 10නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි. 11සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය. 12සිංහයා උගේ ධේනුව හා පැටවුන් සඳහා ගො‍දුරු අල්ලා, උන් කෑලිවලට ඉරා දුන්නේ ය; සිංහ ගුහාව ගො‍දුරුවලින් ද සිංහ ලෙන ඉරන ලද මස්වලින් ද පුරවා ගත්තේ ය.
13සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම නුඹට විරුද්ධ ය; නුඹේ රථවාහන පුළුස්සා දමමි; නුඹේ තරුණ සිංහයෝ කඩුවෙන් විනාශ වෙති. නුඹ අනුන්ගෙන් පැහැරගත් සියල්ල මම නුඹෙන් පැහැරගනිමි. ලෝකයේ නුඹේ දූතයාගේ හඬ නිහඬ වන්නේ ය.”

දැනට තෝරාගෙන ඇත:

නාහුම් 2: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න