ශුද්ධවර ලූක් 7:11-35
ශුද්ධවර ලූක් 7:11-35 SNRV
ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ. උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ. සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය. ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා, “වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය. ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක. උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක. ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, “ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති. එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි, ‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය. මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක. ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ. එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ. තවදුරටත් උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා, ‘අපි ඔබට නළා පිම්බෙමු. ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි කියන දරුවන් හා සමාන වෙති. ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය. මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”


