ලෙවී ව්‍යවස්ථාව 21:1-8

ලෙවී ව්‍යවස්ථාව 21:1-8 SNRV

සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි. පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.