ලෙවී ව්‍යවස්ථාව 13
13
චර්ම රෝග පිළිබඳ නීති
1තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: 2“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය. 3පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. 4එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. 5හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. කුෂ්ඨය එසේ ම ඇති ව, එය පැතිරී නැත් නම්, ඔහු ඒ තැනැත්තා තව දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. 6නැවත හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. එවිට කුෂ්ඨය මැල වී, එය හම පිට පැතිර නොගොස් තිබේ නම්, පූජකවරයා ඔහු පවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. එය තඩිස්සියක් පමණකි. ඔහු තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වනු ඇත. 7පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට පවිත්‍ර යයි ප්‍රකාශ කළ පසු තඩිස්සිය හමේ වඩා පැතිරී ගියහොත්, ඔහු පූජකවරයා වෙත ඉදිරිපත් වී නැවත සෝදිසි කරවා ගනු ලැබිය යුතු ය. 8පූජකවරයා ඔහු මෙසේ සෝදිසි කොට තඩිස්සිය හමේ පැතිර ගොස් ඇත්නම්, ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයක් වේ.
9“යමෙකුට බෝවෙන චර්ම රෝගයක් ඇත්නම්, ඔහු පූජකවරයා වෙත ගෙනා යුතු ය. 10ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම් 11එය ඔහුගේ සිරුරේ හමේ වූ කල්ගිය බෝවෙන චර්ම රෝගයක් බැවින් ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. තවද, ඒ තැනැත්තා වෙන් කිරීම අනවශ්‍ය ය. මන්ද, ඔහු දැනට ම අපවිත්‍ර ය. 12තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්, 13ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය. 14එහෙත්, ඔඩු දුවන වණ පෙනේ නම් ඔහු අපවිත්‍ර ය. 15පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි. 16ඒ ඔඩු දුවන වණ යළි වෙනසක් දක්වා සුදු පාටට හැරුණොත්, ඔහු පූජකවරයා වෙත යළි පැමිණිය යුතු ය. 17ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුදු පාට වී ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. එවැන්නෙක් බෝවෙන චර්ම රෝගයෙන් පවිත්‍ර ය.
18“යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු 19එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය. 20පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි. 21එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. 22එය හම පුරා පැතිරී ගියහොත්, පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි. 23එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.
24“යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්, 25පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි. 26පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය. 27හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි. 28එහෙත්, ඒ පැල්ලම පැතිරී නොගොස් එලෙස ම පවතී නම්, එය මඳක් මැල වී ඇති නම්, එය පිළිස්සීමෙන් හටගත් ඉදිමීමකි. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය පිළිස්සීමෙන් හටගත් කැළලක් පමණි.
29“පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හිසේ හෝ නිකටේ හෝ වණයක් තිබේ නම්, 30පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි. 31පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය. 32හත් වන දින දී පූජකවරයා ඒ තැනැත්තා සෝදිසි කොට, දදය පැතිරී නොගොස් එහි කහ පාටට හුරු රෝම නොතිබේ නම්, දදය හමේ ගැඹුරට නොගොස් ඇත්නම්, 33ඒ තැනැත්තාට හිස බූගාගන්නට සැලැස්විය යුතු ය. එහෙත්, දදය බූනොගෑ යුතු ය. තව හත් දිනක් ද ඔහු වෙන් කොට තැබිය යුතු ය. 34නැවත හත් වන දින පූජකවරයා ඒ රෝගියා සෝදිසි කොට, දදය හමේ නොපැතිරී, හමේ ගැඹුරට නොගොස් ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. රෝගියා ද තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වේ. 35එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්, 36පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත. 37එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.
38“යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්, 39පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.
40“යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය. 41තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය. 42එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි. 43පූජකවරයා ඔහු සෝදිසි කළ විට මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ ඉදිමුම, හමේ හට ගන්න බෝවෙන චර්ම රෝගයක් මෙන් මඳක් රතට හුරු නම්, 44ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. 45බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, ‘අපවිත්‍ර ය, අපවිත්‍ර ය’යි කෑගැසිය යුතු ය. 46බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය.
47“යම් රෙදි කඩක චර්ම රෝග ලකුණු තිබුණොත්, එම රෙදි කඩ ලෝම වස්ත්‍රයක් හෝ හණ වස්ත්‍රයක් හෝ වේවා, 48හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා, 49එම රෝග ලකුණු හම් පිළියේ හෝ වියූ වස්ත්‍රයේ හෝ හමින් සෑදූ යමක හෝ වේවා, කොළ පාටට හෝ රතු පාටට හෝ හුරු ව පෙනේ නම්, එය බෝවෙන චර්ම රෝග ලකුණකි. ඒ රෙදිකඩ පූජකවරයාට පෙන්වා 50ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය. 51ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය. 52එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. 53එහෙත්, පූජකවරයා එවැනි වස්ත්‍රයක් සෝදිසි කළ පසු එම රෝගය, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා, එය පැතිරී ගොස් නැත්නම්, 54ඒවා සෝදන්නට අණ කොට, තව හත් දිනක් ඒවා වෙන් කොට තැබිය යුතු ය. 55වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි. 56වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය. 57ඉන්පසු පවා එම රෝග ලකුණු වියූ ඇතිරිල්ලක හෝ හමින් සෑදූ යමක හෝ පෙනේ නම්, ඒවා පැතිරී යන බෝවෙන චර්ම රෝගයක ලකුණු බැවින් එවැන්නක් ගින්නේ පිළිස්සිය යුතු ය. 58එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත. 59මෙය වනාහි ලෝම වස්ත්‍ර වේවා, වියූ හණ හෝ ලෝම හෝ පිළි වේවා, හම් පිළි හෝ වේවා, ඒවායේ පවිත්‍ර අපවිත්‍රතාව ප්‍රකාශ කිරීමට අදාළ වන නීතිය වේ.”
දැනට තෝරාගෙන ඇත:
ලෙවී ව්‍යවස්ථාව 13: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න