ජෝෂුවා 12

12
මෝසෙස් පරාජය කළ රජවරුන්
1 # ගණන් 21:21-35; ද්වි.නී. 2:26—3:11 නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය. 2හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද 3නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය.
4රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. 5ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය.
6 # ගණන් 32:33; ද්වි.නී. 3:12 සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.
ජෝෂුවා පරාජය කළ රජවරුන්
7බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය. 8මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි. 9පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ; 10ජෙරුසලමේ රජ; හෙබ්‍රොන්හි රජ; 11ජර්මුත්හි රජ; ලාකීෂ්හි රජ; 12එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ; 13දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ; 14හොර්මාහි රජ; අරාද්හි රජ; 15ලිබ්නාහි රජ; අදුල්ලහි රජ; 16මක්කේදාහි රජ; බෙතෙල්හි රජ; 17තප්පුවාහි රජ; හේපෙර්හි රජ; 18අපෙක්හි රජ; ලෂ්-ෂාරොන්හි රජ; 19මාදොන්හි රජ; හාශොර්හි රජ; 20ෂිම්රොන්-මෙරොන්හි රජ; අක්ෂාප්හි රජ; 21තයනාක්හි රජ; මෙගිද්දෝහි රජ; 22කෙදෙෂ්හි රජ; කර්මෙල්ට අයිති ජොක්නෙයාම්හි රජ; 23දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා 24තිර්ශාහි රජ ය. සියලු රජවරු තිස්එක්දෙනෙක් වූ හ.

දැනට තෝරාගෙන ඇත:

ජෝෂුවා 12: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න