ජෝබ් 21

21
ජෝබ්ගේ පිළිතුර
1එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“මාගේ මේ කතාව සාවධාන ව අසන්න.
ඔබ මට දෙන සැනසිල්ල එය වේ.
3මට වචනයක් කීමට ඉඩ දෙන්න.
කැමැති නම්, ඉන්පසු අපහාස කරන්න.
4මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද?
මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?
5මට සවන් දෙන්න;
එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.
6මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි.
මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.
7දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද?
8ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය.
ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.
9ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත;
දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.
10ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති;
ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.
11ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති.
ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.
12ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති;
නළා හඬ අසා ප්‍රීති වෙති.
13ඔව්හු සැපතින් දවස් යවති;
දුක් නොවිඳ, සාමදානයෙන් පාතාල ලෝකයට යති.
14ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති:
‘අප වෙතින් යනු මැනව;
ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.
15සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද?
එතුමන්ට අයැදුම් කිරීමෙන් කුමන වැඩක් සිදු වේ ද?’
16ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද?
එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.
17කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද?
කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද?
කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?
18කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?
19‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය.
එය එසේ නොවේ;
තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
20ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා!
සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!
21ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?
22සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?
23එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි.
24ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි;
ඇට මිදුළු තෙත් ව තිබිණි.
25වෙන අයෙක් කිසිදු සැපතක් නොවිඳ, සෝදුකින් යුතු ව මිය යයි.
26එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති.
පණුවෝ එක සේ ඔවුන් වසා ගනිති.
27මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.
28ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද?
දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?
29සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද?
ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?
30විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද?
දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?
31ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත.
ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.
32ඔහු සොහොන් බිම වෙත ගෙන ගිය විට සොහොන මුර කරනු ලැබේ.
33ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති.
පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.
34එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත.
ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 21: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න