ජෝබ් 13

13
1“බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි.
2ඔබ දන්න දේ මමත් දනිමි.
මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ.
3එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය.
එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි.
4ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය.
ඔබ කවුරුත් කූට වෙද්දු ය.
5ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.
6කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න.
මාගේ විවාදවලට කන් දෙන්න.
7ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද?
ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?
8ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද?
උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද?
9එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද?
මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?
10ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය.
11එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද?
එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද?
12ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය.
ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය.
13නිශ්ශබ්ද වන්න;
මට කතා කරන්න ඉඩ දෙන්න:
වන දෙයක් වුණා වේ.
14මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි;
දිවි නසාගන්නට පවා සූදානම් ය.
15එතුමාණන් මා මැරුවත් මට කමක් නැත.
මට බලාපොරොත්තුවක් නැත.
එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
16මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක.
මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.
17මට සවන් දෙන්න;
මාගේ මේ කතාව හොඳ හැටි අසන්න.
18මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.
19නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද?
එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.
20මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි.
එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.
21ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව.
ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව.
22ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි.
නැතහොත් මම සිතාසිය නිකුත් කරමි;
ඔබ විත්තිය කියන්න.
23අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද?
මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව.
24ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?
25සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද?
වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?
26ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක:
මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.
27 # ජෝබ් 33:1 මාගේ දෙපා දඬුකඳෙහි දමන සේක.
ඔබ මා යන යන තැන විමසන සේක.
මාගේ ගමනට සීමා තබන සේක.
28ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 13: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න