වීරාවලිය 11:30-40
වීරාවලිය 11:30-40 SNRV
ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්, මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය. මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ. ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය. ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය. ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි. එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය.

