හොසියා 2:14-23

හොසියා 2:14-23 SNRV

“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන් ඈට කතා කරන්නෙමි. ඈ සතු ව තිබූ මිදි වතු මම ඈට ආපසු දෙමි. ආකොර් නම් අවාසනා නිම්නය වාසනා දොරටුවක් බවට පමුණුවන්නෙමි. එහි දී ඈ යොවුන් වියේ දී මෙන්, මිසර දෙසින් ආ කල මෙන් මට පිළිතුරු දෙනු ඇත.” සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය. මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය. එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි. එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි. විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය. ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි. ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය. මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”

මෙයට අදාළ වීඩියෝ