උත්පත්ති 37:26-36

උත්පත්ති 37:26-36 SNRV

එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය. ඔව්හු ද එළු පැටියෙකු මරා, ජෝසෙප්ගේ වස්ත්‍රය ගෙන, එය එහි ලේවල ගැල්වූ හ. පසුව අත් ඇති, දිග, එම විශේෂ ඇඳුම තමන්ගේ පියා වෙත ගෙනැවිත්, “මෙය අපට සම්බ විය, එය ඔබ පුත්‍රයාගේ වස්ත්‍රය ද, නැද්දැ යි කියා සොයා බලන්නැ”යි කී හ. ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා, දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය. ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය. මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.