උත්පත්ති 37:18-30

උත්පත්ති 37:18-30 SNRV

ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා. දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ. රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, “අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය. ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.