උත්පත්ති 28:16-22

උත්පත්ති 28:16-22 SNRV

ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. ඔහු බිය වී, “මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය. ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය. තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය. ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක. තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.