උත්පත්ති 2:15-22

උත්පත්ති 2:15-22 SNRV

ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 2:15-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය