උත්පත්ති 2:15-22

උත්පත්ති 2:15-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, “උයනේ ඕනෑ ම ගසකින් නිදහසේ කෑමට ඔබට පුළුවන. එහෙත් හොඳ හා නරක නිශ්චය කිරීමේ ගසින් ඔබ නො කෑ යුතු ය. එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ම ඔබ නසිනු ඇතැ” යි කී සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක. එකල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ භූමියෙන් නිමවා තිබූ සියලු වන සතුන් ද අහස්හි සියලු පක්ෂීන් ද මනුෂ්‍යයා කෙසේ උන් නම් කරන්නේදැයි බලනු පිණිස, මනුෂ්‍යයා වෙත උන් ගෙන ආ සේක. මනුෂ්‍යයා කවර නමකින් ඒ ඒ සජීවී සතුන් ඇමතුවේ ද, ඒවා උන්ගේ නාම බවට පත් විය. මෙසේ, ගව-මහීෂාදී ඇති කරන සතුන් සියල්ලනට ද අහස් පක්ෂීන් හා සියලු වන සතුනට ද මනුෂ්‍යයා නම් දුන්නේ ය. එහෙත් ආදම්ට ගැළපෙන සහකාරියක හමු වුණේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා තද නින්දකට පමුණුවා, ඔහු නිදා සිටින අතරේ, මනුෂ්‍යයාගේ ඉල ඇටයක් ගෙන, හිදැස මසින් වැසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක.

උත්පත්ති 2:15-22 Sinhala Revised Old Version (SROV)

සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක. ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.

උත්පත්ති 2:15-22 Sinhala New Revised Version (NRSV)

ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.

උත්පත්ති 2:15-22 Sinhala New Revised Version 2018 (SNRV)

ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.