ගලාති 5:7-15

ගලාති 5:7-15 SNRV

ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද? ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ. ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත. සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ. මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය. සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි. එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.