සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි. එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය. එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය. මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම, රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්, වෛරය, බීමත්කම, මධු සාද උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත. ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත. අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු.