එසකියෙල් 37:1-9

එසකියෙල් 37:1-9 SNRV

සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක. උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය. උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි. උන් වහන්සේ යළිත් මට කතා කොට, “නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.” එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය. එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”