එසකියෙල් 3:12-27

එසකියෙල් 3:12-27 SNRV

එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය. මේ වනාහි එකිනෙකට වැදුණු සත්ත්වයන්ගේ පියාපත්වල ශබ්දය ද ඒ ළඟ තිබූ රෝදවල භූමි කම්පාවක ශබ්දය වැනි ශබ්දය ද විය. මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය. එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි. තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කෙරෙහි මම නුඹ මුරකාරයෙකු වශයෙන් පත් කෙළෙමි. මාගෙන් යම් වචනයක් ඇසෙන සෑම විට ම ඔවුන්ට අවවාද කරන්න. ‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත. “තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි. එහෙත්, ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ඔහුට අවවාද කළ විට, ඔහු පව් නොකර සිටියොත්, අවවාද පිළිගත් බැවින් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. නුඹ ද නුඹේ පණ ගළවා ගන්නෙහි ය.” එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක. මම ද නැඟිට සමභූමියට ගියෙමි. එවිට, කෙබාර් ගඟ ළඟ දී මා දුටු තේජස මෙන් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය එහි තිබෙනු දිටිමි. මම මුණින්තළා වී වැටුණෙමි. එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න. මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත. මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය. එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”