නික්මයාම 33:12-20

නික්මයාම 33:12-20 SNRV

මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත. දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය. උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක. එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක. මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.