නික්මයාම 33:12-20

නික්මයාම 33:12-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “බැලුව මැනව, ‘මේ ජනයා කැඳවාගෙන යන්නැ’ යි ඔබ මට කියන නමුදු මා සමඟ යෑමට ඔබ එවන්නේ කවුරුදැයි කීවේ නැත. තවද ඔබවහන්සේ කතා කොට, ‘නමින් ම මම ඔබ හඳුනමි. මගේ ප්‍රසාදය ඔබට ලැබී ඇතැ’ යි කී සේක. ඔබවහන්සේ මා හා ප්‍රසන්න නම්, මට ඔබගේ මාර්ග ඉගැන්වුව මැනව. එවිට ඔබ හැඳින, ඔබගේ ප්‍රසන්නතාවෙහි පැවත සිටින්නට මට හැකි වෙයි. මේ ජාතිය ඔබගේ ජනයා බැව් ද සිහි කළ මැනව” යි කීවේ ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ අභිමුඛය ඔබ සමඟ යනු ඇත. මම ඔබට විවේකය දෙන්නෙමි” යි පැවසූ සේක. එවිට මෝසෙස් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේගේ අභිමුඛය අප සමඟ යන්නේ නැති නම්, මෙතැනින් එහාට අප නො යැවුව මැනව. ඔබවහන්සේ මා සමඟත්, ඔබගේ මේ ජනයා සමඟත් ප්‍රසන්න වග අන් අය දැනගන්නේ, ඔබවහන්සේ අප සමඟ යෑමෙන් මිස වෙන කොහොම ද? මේ පොළෝ තලේ වෙසෙන අන් ජාතීන් අතරින් මාත්, ඔබගේ මේ ජනයාත් වෙන් කර හැඳිනගත හැක්කේ අන් කෙලෙසක දැ?” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඔබ ඉල්ලූ මේ දේත් මම ඉටු කරන්නෙමි. මන්ද මගේ ඇස් හමුවේ ඔබට මගේ ප්‍රසාදය ලැබී තිබේ. නමින් ම මම ඔබ හඳුනමි” යි පැවසූ සේක. එවිට මෝසෙස්, “අහෝ මට ඔබගේ තේජෝ මහිමය පෙන්වුව මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්නට සලසමි. ස්වාමින්වහන්සේ යන මගේ නාමය ඔබ ඉදිරියේ, ප්‍රකාශ කරන්නෙමි. යමකුට දයාව පෑමට මා කැමති නම්, මම ඒ අයට දයාව පාන්නෙමි. යමකුට අනුකම්පා වන්නට මා කැමති නම්, මම ඒ අයට අනුකම්පා කරන්නෙමි. එහෙත් මගේ මුහුණ දකින්නට ඔබට නුපුළුවන. මන්ද කිසි කෙනකුට මා දැක, ජීවත් වන්නට නුපුළුවනැ” යි පැවසූ සේක.

නික්මයාම 33:12-20 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ–මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් නුඹ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි නුඹට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක. එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනඟ බවත් සැලකුව මැනවයි කීවේය. උන්වහන්සේද: මම්ම නුඹ සමඟ ගොස් නුඹට නිවාඩු දෙන්නෙමියි කීසේක. ඔහු: ඔබවහන්සේම නොයනසේක් නම් මෙතැනින් අප ගෙන නොගිය මැනව. මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක. ස්වාමීන්වහන්සේ ද: නුඹ කී මේ දේත් කරන්නෙමි. මක්නිසාද නුඹට මා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ, නාමයෙන්ද නුඹ අඳුනමියි මෝසෙස්ට කීසේක. ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය. උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක. තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.

නික්මයාම 33:12-20 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත. දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය. උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක. එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක. මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.

නික්මයාම 33:12-20 Sinhala New Revised Version 2018 (SNRV)