නික්මයාම 32:9-14

නික්මයාම 32:9-14 SNRV

තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක. එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද? ‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය. එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.