නික්මයාම 14:21-29
නික්මයාම 14:21-29 SNRV
මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක. උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ. උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.

