නික්මයාම 12:21-27

නික්මයාම 12:21-27 SNRV

එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න. ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක. තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය. මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට ‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.