නික්මයාම 10:13-28
නික්මයාම 10:13-28 SNRV
මෝසෙස් ද මිසර දේශය දෙස තම සැරයටිය එසවී ය. එවිට සමිඳාණන් වහන්සේ එදින මුළු දිවා රෑ දෙක්හි මිසර දේශය පුරා පෙරදිගින් සුළඟක් හමන්නට සැලැසූ සේක. පහන් වූ විට පෙරදිගින් හැමූ සුළඟ පළඟැටියන් ගෙනාවේ ය. උන් මුළු මිසර දේශයට වැදී මුළු රට පුරා පැතිර ගියහ. එවැනි විශාල පළඟැටි රංචුවක් ඊට කලින් නම් නො වී ය; මතු ද නොවනු ඇත. උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය. එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි. දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය. මෝසෙස් ද පාරාවෝ වෙතින් ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය. එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක. මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය. එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය. එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය. මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, “අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය. එබැවින් අපගේ ගවසම්පත ද අප සමඟ යා යුතු ය. එක සතෙකු වත් මෙහි ඉතුරු නොකරනු ඇත. අප එහි යන තෙක් සමිඳාණන් වහන්සේට කුමකින් වැඳුම්පිදුම් කළ යුතු ද කියා අපි නොදනිමු”යි කී ය. එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඔවුන්ට යන්න අවසර නුදුන්නේ ය. ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.

