ධර්මදේශකයා 2:17-26
ධර්මදේශකයා 2:17-26 SNRV
මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි. මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි. ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි. එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි. මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද? ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි. මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

