ධර්මදේශකයා 2:17-26

ධර්මදේශකයා 2:17-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හිරුට යටින් කරනු ලබන කාර්යයන් ශෝචනීය බැවින් මම ජීවිතයට ද්වේෂ කළෙමි. ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. හිරු යට වීර්යයෙන් මා කළ හැම කටයුත්තක් ගැන ද්වේෂ කළෙමි. මන්ද මගේ අනුප්‍රාප්තිකයාට මා ඒවා තබා යා යුතු ව තිබේ. ඔහු ප්‍රඥාවන්තයකු වේ ද අඥානයකු වේ දැයි දන්නේ කවුරු ද? එසේ වුව ද හිරු යට මගේ වීර්යයෙන් හා ප්‍රඥාවෙන් කළ හැම කටයුත්තක ම පාලනය ඔහු සතු වන්නේ ය. මෙය ද නිරර්ථක ම ය. එබැවින් හිරු යට මා වීර්යයෙන් කළ හැම කටයුත්තක් ගැන මගේ හදවත කලකිරෙන්නට වන. මන්ද යම් කෙනකු තම ප්‍රඥාවෙන්, දැනුමෙන් හා සමත්කමින් කරන තමන් සන්තක කාර්යයන්හි උරුමය ඒ ගැන කිසි වැඩක් නො කළ කෙනකුට හැරපියා යෑමට සිදු වෙයි; මෙය ද නිරර්ථකයක් ය. මහ අවාසනාවක් ය. හිරු යටදී යම් කෙනකු වෙහෙස දරා මහත් පරිශ්‍රමයෙන් හා අධිෂ්ඨානයෙන් කරන කටයුතු සියල්ලට ඔහුට ලැබෙන්නේ මොනවා ද? ඔහුගේ සියලු දවස්හි ඔහුගේ හැම වැඩ කටයුත්තක් ම වේදනාව හා ශෝකය ය. රැයේදී පවා ඔහුගේ මනසට නිවාඩුවක් නැත; මෙය ද නිරර්ථකයක් ම ය. කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද? දෙවියන්වහන්සේ තමන්ට ප්‍රිය මනුෂ්‍යයාට ප්‍රඥාව ද අවබෝධය ද ප්‍රීතිය ද දෙන සේක; තවද දෙවියන්වහන්සේට ප්‍රිය වූ අයට හිමි වන පිණිස වස්තුව රැස් කර ගබඩා කර තබන්නට පව්කරුවාට උන්වහන්සේ වැඩ සලසන සේක. මෙය ද නිරර්ථකයක් ය. සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.

ධර්මදේශකයා 2:17-26 Sinhala Revised Old Version (SROV)

එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ. එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි. ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය. එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි. මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ. මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය. කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි. මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද? දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.

ධර්මදේශකයා 2:17-26 Sinhala New Revised Version (NRSV)

මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි. මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි. ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි. එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි. මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද? ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි. මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

ධර්මදේශකයා 2:17-26 Sinhala New Revised Version 2018 (SNRV)