ද්විතීය නීති සංග්‍රහය 4:16-30

ද්විතීය නීති සංග්‍රහය 4:16-30 SNRV

එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්, මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්, පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය. ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය. එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය. “තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක. මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. “ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත් මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත. සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය. එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය. එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්