අාමොස් 8

8
පැසුණු පලතුරු ගැන දර්ශනය
1මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි. 2එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි. 3ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”
ඉශ්රායෙල් ජාතියේ විනාශය
4දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න. 5ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය; 6අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”
7ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි. 8එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත. 9ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය. 10නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.
11“දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය. 12එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත. 13ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය. 14‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”

දැනට තෝරාගෙන ඇත:

අාමොස් 8: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න