ක්‍රියා 4:27-31
ක්‍රියා 4:27-31 SNRV
සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.

