ක්‍රියා 16:16-23

ක්‍රියා 16:16-23 SNRV

අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය. ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය. ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය. එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය. ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ.

ක්‍රියා 16:16-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය