2 සාමුවෙල් 19:1-8

2 සාමුවෙල් 19:1-8 SNRV

රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා ජෝවාබ්ට දන්වන ලද්දේ ය. රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි. මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය. රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය. ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය. එසේ වූයේ, ඔබට වෛර කරන්නන්ට ඔබ ප්‍රේම කරන නිසාත්, ඔබට ප්‍රේම කරන්නන්ට ඔබ වෛර කරන නිසාත් ය. අධිපතීන්ගෙන් වත්, සේවකයන්ගෙන් වත් ඔබට කමක් නැති බව අද ඔබ පෙන්නුවෙහි ය. අබ්සලොම් ඉතිරි ව අපි සියල්ලෝ ම මැරුණෙමු නම්, ඔබ ඉතා ප්‍රසන්න වන බව අද මට පැහැදිලි විය. එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නො‍ගියොත්, ඔබ සමඟ කිසිවෙකු නො‍සිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය. එවිට රජ නැඟිට දොරටුව ළඟ හිඳ ගත්තේ ය. “රජ දොරටුව ළඟ හිඳගෙන සිටින්නේ ය”යි මුළු සෙනඟට දන්වන ලද්දේ ය. මුළු සෙනඟ ද රජු ඉදිරියට පැමිණියෝ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 19:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය