දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය. තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
“ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.
මෙසේ සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටත් ව ගියෝ ය. සටන එප්‍රායිම් වනයේ දී සිදු විය. එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ. යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ.
අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය. එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, “අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය.
ජෝවාබ් එපවත් තමාට කී මිනිසාට කතා කොට, “ඔබ ඔහු දුටුවෙහි ද? එසේ නම් ඔහු එතැන ම මරා බිමට නොදැමුවේ මන් ද? ඔබ එසේ කෙළෙහි නම්, රිදී දසයක් ද ඉඟ පටියක් ද මා ඔබට දෙන්නට තිබුණේ ය”යි කීවේ ය.
ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නොගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ. එසේ හෙයින් මම ඔහුගේ ජීවිතයට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙම් නම්, ඔබ ම මට විරුද්ධ ව සිටිනු ඇත; මන්ද, කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැ”යි කී ය.
එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.
ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.
අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.