2 රාජාවලිය 8:7-13

2 රාජාවලිය 8:7-13 SNRV

එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී. රජ හසායෙල්ට කතා කොට, “ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය. එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ‍ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය. එලිෂා ද උත්තර දෙමින්, “ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය. තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය. එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය. හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.