2 රාජාවලිය 6:14-17
2 රාජාවලිය 6:14-17 SNRV
එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.

