2 රාජාවලිය 4:11-17

2 රාජාවලිය 4:11-17 SNRV

එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේ ය. තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය. එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය. “එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය. ගෙහාසී කතා කොට, “ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය. “ඈට අඬගසන්නැ”යි ඔහු කී ය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවා ය. එවිට ඔහු කතා කොට, “ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයකු අතට ගන්නෙහි ය”යි කී ය. ඈ ද, “නැත, මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබේ දාසීට බොරු කියන්නට එපා ය”යි කීවා ය. ඒ ස්ත්‍රිය ගර්භණී ව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයකු ලැබුවා ය.