2 රාජාවලිය 19:1-19

2 රාජාවලිය 19:1-19 SNRV

හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය. තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය. ඔව්හු ඔහුට කතා කොට, “හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ. මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ. යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය. අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. “කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා, “ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න. මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද? මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද? හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය. හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා, උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක. සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ. එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.

2 රාජාවලිය 19:1-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය