2 රාජාවලිය 1:1-9

2 රාජාවලිය 1:1-9 SNRV

ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ. තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය. එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය. එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ. “ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය. එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.